ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ රට දෙවනත් කළ තොවිලය ගැනත් , ඊට අදාළව ඩොලර් බිලියන 10 ක ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවූ අයුරුත් ඊයේ ලිපියෙන් කරුණු අනාවරණය කළෙමි. අද ලිපියෙන් අනාවරණය කරන්නේ ඊට සමගාමීව විවෘත වෙළෙඳ පොළෙන් ලබාගත් ඩොලර් බිලියන 12.5 වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුව ඇති ආකාරයයි.
අන්තර් ජාතික සෛවරී බැදුම්කර (ISB) ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය 2024 ජූලි 02 :
පැරිස් සමාජයේ සහ චීනය ආනයන අපනයන බැංකුවේ නිල ණය හිමියන් විසින් ඩොලර් බිලියන 10 ක ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකග වූ පසු , 2024 ජූලී 02 වැනිදා අන්තර් ජාතික සෛවරී බැදුම්කර හිමියන් 10 දෙනකුගේ කමිටුව විසින් ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැදුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණයට ශ්‍රී ලංකා රජයට එකගතාව පළකර තිබේ.
ඒ අනුව ද්වීපාර්ශවික ණය මෙන් ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැදුම්කර ආපසු ගෙවීමට වර්ෂ 2028 දක්වා කාලය දීර්ඝ කර ඇත. එම ණය හිමියන් අදාළ සහනය ලබා දීමට එකගතාව පළකර ඇත්තේ පහත කොන්දේසිවලට අනුකූලවයි. මෙකී ණය මුදල් ගෙවීම අත්හිටවූ 2022 සැප්තැම්බර් සිට නොගෙවූ ණය වෙනුවෙන් ගෙවිය යුතූ පොළීය ඩොලර් බිලියන 2.9 කි. එම ඩොලර් බිලියන 2.9 න් සියයට 11 ක ප්‍රමාණයක් කපා හැරීමට ඔවුන් එකගතාව පළකර තිබෙන අතර , එකගතාව පළවූ වහාම ඩොලර් මිලියන 25 ක් ගෙවීමට ශ්‍රී ලංකාව එකගවී ඇත.
2028 ස්වෛරී බැදුම්කර ණය ආපසු ගෙවීම ‘මැක්රෝ ලින්ක්’ ක්‍රමවේදයට අනුව යි…. !
2028 ණය ආපසු ගෙවීම ආරම්භ ක්‍රමවේදය ලෙස ‘මැක්රෝ ලින්ක්’ ක්‍රමවේදය හදුන්වා දී තිබේ. ඒ අනුව වර්ෂ 2028 ණය ආපසු ගෙවන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 88.6 ක මට්ටමක පැවැතිය හොත් , සියයට 28 ක් ණය කප්පාදුයක් ලැබේ. එය ඩොලර් බිලියන 100 මට්ටමට
ළගා වුවහොත් ලැබෙන ණය කප්පාදු සහනය සියයට 14.96 ක් දක්වා අඩු කෙරෙනු ඇත.
පරස්පර කොන්දේසි දෙකක්……!!
දළ දේශීය නිෂ්පාදිතය සියයට 88.6 ට අඩු වුවහොත් ණය කප්පාදුව සියයට 30 ට වඩා අඩුවෙන බවද සදහන් කර තිබේ. එහෙත් ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව IMF කොන්දේසිය වී ඇත්තේ 2028 වනවිට රටේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 95 මට්ටමට තබා ගතයුතු බව යි. එය අපූරු පරස්පරයකි. ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසිවලට අනුව එම ඉලක්කය තවත් සියයට 5 කින් ඉහළ ගියහොත් , ස්වෛරී බැදුම්කර ණය කප්පාදුව සියයට 28 සිට සියයට 14.96 ට අඩු කෙරේ.
යම් හෙයකින් තවත් සියයට 5 කින් රටේ ආර්ථික වර්ධනය ඉහළ ගියහොත් සියයට 14.96 ණය කප්පාදුව සියයට 7.48 දක්වා තවත් පහළට ගමන් කරනු ඇත. මේ අනුව ස්වෛරී බැදුම්කර ඩොලර් බිලියන 12.5 න් සියයට 30 ක ණය කප්පාදුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළට නොගොස් උවමනාවෙන්ම සියයට 86.6 ක ස්ථාවර මට්ටමක තබා ගත යුතු ය.මේ වූ කලී ණය බරෙන් නිදහස් වී තිර ආර්ථික සංවර්ධනයක් කරා යාමට දිරි දීමක්ද ? නැතහොත් , දිගුකාලීනව ණය ගැති භාවයේම රැඳී සිටීමට කෙරෙන දිරි ගැන්වීමක් ද ?
දූෂණයෙන් තොර යහපත් පරිපාලන රටාවක් ඇතිකර ගැනීමට දිරිදීම සියයට 0.5 යි………?
මීට අමතරව ඉතිරි ඩොලර් බිලියන 02 ක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ‘ගවනනස් බොන්ඩ්’ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. දූෂණයෙන් තොර , යහපත් පරිපාලනයක් වෙනුවෙන් කර ඇති දිරි ගැන්වීමක් ලෙස ණය කප්පාදුව 0.5 ක් ලෙස දක්වා තිබේ. නව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභා පනතක් සම්මත වී තිබුණද , එම පනතේ ක්‍රියාකාරීත්වයට අවැසි යාන්ත්‍රණය පිහිටු වීමට අය වැය ලේඛනයෙන් මුදල් වෙන්කර නොමැත. එහෙත් අවසන් ණය වාරික නිකුත් කරණ අවස්ථාවේදී හෝ IMF ආයතනය ඒ ගැන විමසීමක් හෝ කර නැත.
සියයට 4 පොළීයට හිග පොළී ගෙවීම සදහා තවත් ඩොලර් මිලියන 1678 බැදුම්කර ණයක්……….!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කේවට්ට නඩය රට දෙවනත් කරමින් උදම් ඇනූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික සහන ඉහත සදහන් කර ඇත. ස්වෛරී බැදුම්කර සදහා නොගෙවූ ණය වෙනුවෙන් ගෙවිය යුතූ පොළීය සියයට 11 කින් අඩුකළ පසුව ගෙවීමට ඇති ඩොලර් මිලියන 1678 ගෙවීම සදහා නැවතත් සියයට 4 පොළීය මත ස්වෛරී බැදුම්කර නිකුත් කිරීමට ද ණය හිමියන් එකග වී තිබේ. ඉහත නව බැදුම්කර ඩොලර් මිලියන 1678 ණය මුදල 2024 සැප්තැම්බර් අවසානයේ සිට ගෙවීම ආරම්භ කළ යුතු ය. එය “ප්ලේන් වැනිලා” බැදුම්කර ලෙස නම්කර තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ න්‍යාය පත්‍රයට ප්‍රමුඛත්වය දීම………..!!
ණය ගෙවා ගත නොහැකි ආර්ථීක සුනාමියනට ගොදුරු වූ රටක් ඉන් ගොඩ ඒමට නියත වශයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුම ය. එහෙත් එකී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හුදෙක් පවතින ආර්ථික අර්බුදය වසර කිහිපයකින් කල් දමා ගැනීමකට පමණක් සහ ඉන් පසු තිබුණාටත් වඩා දරුණු ආර්ථික
අර්බුදයකට යාමේ අනතුරු සහිත ක්‍රියාවලියක් නොවිය යුතු ය.
වසර අවසානයේ ජනාධිපතිවරණ න්‍යාය පත්‍රයට අනුව උපරිම දේශපාලන වාසියක් අත්පත් කර ගැනීමේ හදිස්සිය මිස , උපරිම කේවල් කිරීමකින් උපරිම සහනය ලබා ගැනීමට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවූ බවක් පෙනෙන්නට නැත. කඩි මුඩියේ ව්‍යාජ සුබ ආරංචියක් සමාජගත කිරීමට ගත් උත්සාහයන් නිසා සමස්ත රට වැසියාට දීර්ඝ කාලීනව ලබා ගැනීමට තිබූ සහනයන් අහිමිකර තිබේ. ඒ පිළිබඳ ඉදිරි ලිපියකින් හමුවෙමු.